යුරෝපය මේ වන විට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මුහුණ දෙන දරුණුතම මානුෂවාදී අර්බුදයට මුහුණ දෙමින් සිටී. ඒ සරණාගත අර්බුදයයි. අද වන විට ලොව පුරා කනගාටුදායක සිදුවීම් වාර්තා කරන මේ සරණාගත අර්බුදය යුරෝපා රටවලදී ඉන් ඔබ්බට ගොස් දේශපාලනික ගැටලු ඇති කිරීමට ද සමත් වී තිබේ.
සරණාගතයන්ගේ පැමිණීම අර්බුදයක් දක්වා විතැන් වීමේ ඉතිහාසය මීට මාස දෙකතුනක් දක්වා ඈතට දිව ගියද පසුගියදා සිදු වූ අයිලන් කුර්දි නම් කුඩා දරුවාගේ මරණයේ කනගාටුදායක ඡායාරූප ලොව පුරා ජනතාවගේ අවධානයට පාත්‍ර වීමත් සමග අර්බුදය වෙනත් ඉසව්වක් කරා ගමන් ගනිමින් තිබේ.
සරණාගත අර්බුදයට මානුෂික මුහුණුවරක් එක්වීමත් සමගම සරණාගතයන් ප්‍රතික්ෂේප කරන රටවලට දෝෂාරෝපන එල්ලවන්නට විය. සරණ සොයා පැමිණෙන සරණාගතයන් අමානුෂික ලෙස තම දේශයන්ට ප්‍රවිශ්ට වීම වළකන රටවල් දෝශදර්ශනයට ලක් වන්නට විය. ඒ හේතුවෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු ඇතැම් රටවල් සරණාගතයන් සම්බන්ධ නීතිරීති ලිහිල් කිරීමට ද තීරණය කර තිබිණි.
එහෙත් දේශපාලනික ලෙස සලකා බලන විට මේ සරණාගතයන්ගේ පැමිණීම යුරෝපා රටවලට මින් පෙර නොවූ විරූ අර්බුද රාශියක් ඇති කිරීමට සමත් වී ඇති බවත් ඒහේතුවෙන්ම මේ රටවල අනාගතයේ දී නොයෙක් අර්බුද රාශියක් ඇති වීමට පසුබිම සැකසෙමින් ඇති බවත් පෙනේ.
සරණාගතයන් දෙස අනුකම්පාව යොමුවීමත් සමග බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය වැනි රටවල් තම නීති ලිහිල් කළ බව ප්‍රකාශ කරමින් ලොවට හොඳ මූණ පෙන්වීමට ක්‍රියා කළේ ය. එහෙත් තම තීරණය එලෙසම ඉදිරියට ගෙන ගිය හංගේරියාව පවසා සිටියේ මේ සරණාගයන් රටතුළට වැද්ද ගැනීමෙන් අනාගතයේ දී රට අර්බුදයට යෑම වැළැක්විය නොහැකි බවයි. මෙලෙස පැමිණෙන සරණාගයන්ගෙන් අතිබහුතරය ඉස්ලාම් ලබ්ධිකයන් වන බැවින් එය තම දේශයේ ක්‍රිස්තියානි සංස්කෘතියට බලවත් තර්ජනයක් ඇතිකරනු නොඅනුමාන බව නිර්භයව පැවසූ හංගේරියාව අනුකම්පාව පසෙක දමා තම රටවැසියන්ගේ අනාගතය ගැන සිතුවේ ය.
මේ අතර සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ජර්මන් ජනතාව දැනටමත් දෙකට බෙදී ඇතැයි වාර්තා වේ. ජර්මනිය සරණාගතයන් ගේ වැඩිම ඉල්ලුම සහිත රාජ්‍යය බවට පත් වී තිබෙන අතර යුරෝපයට පැමිණෙන සරණාගතයන් අතරින් අතිබහුතරය තම නවාතැන බවට පත් කරගැනීමට කැමැත්ත දක්වන්නේ ජර්මනියයි. ජර්මන් ජනතාව අතරින් සියයට 36ක් මේ සරණාගතයන් තම රටට පිළිගැනීම අනුමත කරන නමුදු සියයට 46ක් පවසන්නේ ඔවුන් රට තුළට ගැනීමෙන් නොයෙක් අර්බුද ඇතිවනු ඇති බවයි. නොයෙක් අපරාධ ඇති වීම, දුගීබව සහ ඇතැම්විට රටේ ආර්ථිකය අස්ථාවර වීමට එමගින් ඉඩකඩ ඇතිවීම ජනතාව පෙන්වාදෙන ගැටලු වී තිබේ.
ස්වීඩනය තම රටට පැමිණෙන ජනතාව අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසකට පුරවැසිභාවය ලබා දෙන අතර, ඉතාලිය සහ චෙක් ජනරජය යන රටවල් සියයට විස්සකට පමණ පුරවැසිභාවය ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. අර්බුද මධ්‍යයේ වුවද මේ වන විට ජර්මනිය අනුමත කර ඇති අයදුම්පත් සංඛ්‍යාව 73000ක් බව ප්‍රකාශිත ය.
සරණාගතයන්ගේ පැමිණීම සිරියාවෙන් සිදුවන බව ප්‍රකාශ වුවද සැබෑ සත්‍යය එය නොවේ. දැනට යුරෝපයට වැඩිම සරණාගතයන් පිරිසක් පැමිණෙන්නේ කොසෝවෝ දේශයෙනි. දෙවැනි ස්ථානය සිරියාවට හිමි වේ. තුන්වැනි ස්ථානය ඇෆ්ගනිස්තානයයි. ඇල්බේනියාව, ඉරාකය, සර්බියාව, පකිස්තානය වැනි රටවල් පිළිවෙළින් සෙසු ස්ථාන දිනා ගන්නේ ය. යුක්රේනය, චීනය, තුර්කිය වැනි රටවල් ද ඒ අතර වේ. සරණාගතයන් යුරෝපයට පැමිණීමට භාවිත කරන මර්ග කිහිපයකි. ඉන් වැඩිම පිරිසක් පැමිණෙන්නේ බටහිර බෝල්කන් මාර්ගයෙනි. නැඟෙනහිර මධ්‍යධරණී මාර්ගය, මධ්‍යම මධ්‍යධරණී මාර්ගය, බටහිර මධ්‍යධරණී මාර්ගය, ඇල්බේනියාවේ සිට ග්‍රීසිය හරහා වන මාර්ගය, නැඟෙනහිර දේශසීමා මාර්ගය, කළු මුහුදු මාර්ගය ද බටහිර අප්‍රිකානු මාර්ගයද සෙසු මාර්ග වේ. මේ සියලු මාර්ග ඔස්සේ මින් පෙර නොවූ විරූ අන්දමින් යුරෝපය කරා සරණාගතයන් පැමිණෙමින් තිබේ.
ජර්මනිය හැරුණු විට හංගේරියාව, ඉතාලිය, ප්‍රංසය, ස්වීඩනය, ඔස්ට්‍රියාව, බ්‍රිතාන්‍යය, බෙල්ජියම, බල්ගේරියාව, ග්‍රීසිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය අනුපිළිවෙළින් සරණාගතයන් පැමිණීමට කැමැත්තක් දක්වන රටවල්ය.
මේ අතර සරණාගතයන්ගේ මේ අසාමාන්‍ය පැමිණීමට ඇමෙරිකාව වග කිව යුතු යැයි චෝදනා එල්ලවෙමින් තිබේ. අරාබි වසන්තය හරහා මැද පෙරදිග කලාපයේ සාමය පැවති රටවල් රාශියක යුද්ධය ඇති කර එය මේ දක්වා පවත්වාගෙන යෑම සම්බන්ධව ඇමෙරිකාව වග කිව යුතු බැවින් සරණාගතයන්ගේ පැමිණීම ඇමෙරිකාවේ ක්‍රියවල අතුරුපල ලෙස සැලකිය යුතු බවට මේ චෝදනා මඟින් ප්‍රකාශිතය.
මේ මහා කැලඹීම් මැද ඔබාමා මුනිවත රකින අතර ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන හිලරි ක්ලින්ටන් සරණාගතයන්ට උපකාර විය යුතු යැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළා ය.
කෙසේ වුවද පසුගිය බදාදා රැස් වූ යුරෝපා සංගමය අවසන් වශයෙන් තීරණය කර තිබුණේ කෝටා ක්‍රමයකට සරණාගතයන්ට තම සාමාජික රටවල රැකවරණය ලබා දිය යුතු බවයි.