ශක්‌තිමත්ව සහ අදීනව පස්‌ වසරක්‌ යා හැකිනම්

0
707

ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු හැරුණු විට අලුතින් හඳුන්වා දීමට යන දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ප්‍රධානීන්ද ඇතුළුව (මේ ප්‍රධානීන්ටද, කැබිනට්‌ ඇමැති හා සමාන බලතලද ඇත) ඇමැති මණ්‌ඩලය සියය පනින බව අපට වැටහේ. පළාත් සභා මහ ඇමැතිවරුන් සහ ඒවායේ සෙසු ඇමැතිවරුන් ගණන් කර ඉහත ගණනට එකතු කළවිට ඉන්දියාවටත් බෙදා මාලදිවයිනටත් දීම පිණිස ඇමැතිලා තුන් හතර දෙනකු ඉතිරි කර ගන්නට අපට හැකිය. ආණ්‌ඩු පක්‍ෂයට මෙන්ම විපක්‍ෂයට ද ඇති පමණට ඇමැති තනතුරු බෙදා ගැනීම ජාතික ආණ්‌ඩුවක සාමාන්‍ය ස්‌වභාවය බව කියමින් මහජනතාව වන අපි හිත හදා ගනිමු. වෙන රටවල් ලෝකයට දෙන්නේ නව නිෂ්පාදනයන්යá නව සේවාවන්ය. අපේ රට ලෝකයට දෙන්නේ වැඩි වැඩියෙන් ඇමැති තනතුරු නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයය. මේ ආණ්‌ඩුවේ විශේෂ ස්‌වරූපයක්‌ දැකගත හැකි වෙයි. එනම් යූ. එන්. පී ද නැත්නම් ශ්‍රී ලංකාද කීමට බැරි තරමට ‘ජාතික ආණ්‌ඩු ස්‌වරූපයක්‌’ මේ ආණ්‌ඩුව තුළ තිබීමය. ආණ්‌ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. එහෙත් ආණ්‌ඩුවේ ප්‍රධාන අමාත්‍යංශවලින් වැඩි හරිය ඇත්තේ ශ්‍රී. ල. නි. පයේ කට්‌ටිය අතේය. එයද ජාතික ආණ්‌ඩුවක ස්‌වභාවය විය යුතුය. (අපට ජාතික ආණ්‌ඩු ගැන වැඩිමනක්‌ තේරුමක්‌ හෝ අත්දැකීමක්‌ නැත.)

සාමාන්‍යයෙන් ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකරන විශේෂ අවස්‌ථාවක්‌ තිබේ. ඒ වූ කලී ජාතික ව්‍යසනයකට පසු එළැඹෙන අවස්‌ථාවය. මේ රටේ ජාතික ව්‍යසනය හෙවත් ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් වූයේ 2009 දීය. එහෙත් එවැනි කිසිදු අර්බුදයක්‌ නැතත් ඉකුත් මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන ලදී. එයටද විශේෂ හේතුවක්‌ තිබිණ. ඒ වූ කලී රට ඉතා වේගයෙන් දූෂණය වෙමින් පවතින බව හඳුනාගෙන තිබීමය. රටේ දේශපාලන කණ්‌ඩායම්, බහුජන සංවිධාන, සිවිල් සමාජය පමණක්‌ නොව පිටරටවල් පවා ඒ බව පිළිගෙන තිබිණ. සාමාන්‍යයෙන් සංවර්ධනය විශාලවන තරමට එම සංවර්ධනයට අදාළව සිදුවන දූෂණයද විශාලවීම තුන්වන ලෝකයේ රටවල සම්ප්‍රදායය. ලංකාව යනු සංවර්ධනය වන ලෝකය කරා ගමන් කරමින් සිටින තුන්වන ලෝකයේ රටකි. ඒ නිසා ආණ්‌ඩුවේ වැඩකට රුපියල් පහක්‌ මුදා හරිනවිට ඉන් රුපියල් දෙකක්‌ ගසා කෑම සිරිත විය. මෙය දියුණුවන රටකට දැරීමට බැරි තරම් විශාල ගැහිල්ලකි. ගණනින් කිවහොත් සියයට හතළිහකි. පවුල් අතළොස්‌සක්‌ විසින් රටේ සියලුම කටයුතු පාලනය කරනු ලබන්නේය යනුවෙන් පැතිර තිබූ කතාන්දරයද, එමගින් කේක්‌ ගෙඩියක්‌ කැබලි කර බෙදාගෙන කන්නාක්‌ මෙන් රට කා දැමීමක්‌ සිදු වන්නේය යනුවෙන් පින්තාරුවී තිබූ මතය නිසා වැඩේ තවදුරටත් ‘අල’ විය. අපට හැඟෙන පරිදි ජාතික ආණ්‌ඩුවක්‌ හැදීම කාගේවත් තති අදහස නොවේ. එය ජාත්‍යන්තරයේ අදහසකි. කෙසේ හෝ වේවා අවසන් පලයේදී අපට ජාතික ආණ්‌ඩුවක්‌ ලැබී තිබේ.

කොයි ආණ්‌ඩුවට වුව ශක්‌තිමත්ව, අදීනව පස්‌ අවුරුද්දක්‌ ගමන් කළ හැකි නම් රට ගොඩ දමා ගත හැකිය. සියලු දේශපාලන පක්‍ෂ එකමුතුව, ගමනක්‌ යා හැකිනම් එම ගමන කෙළවරදී ආලෝකයක්‌ හමුවන්නේය. අප ඉදිරිපිට තිබෙන ජාතික ආණ්‌ඩුවටද එම ආලෝකය හමු වේවා.

Source : Divaina