පිස්‌සු බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙමු

0
834

බල්ලෙකු සපා කෑ විට ඕනෑම පුද්ගලයෙක්‌ බියට පත්වේ. ඒ තුවාලය නිසා නොව බල්ලාට “පිස්‌සු බලු රෝගය තිබේදැයි සිතමිනි. පිස්‌සු බලු රෝගය නැතිනම් ජලභීතිකාව වැළඳෙන්නට බල්ලාට පිස්‌සු තිබිය යුතුම දැයි අපි නොදනිමු. එහෙත් ඕනෑම කෙනෙක්‌ බියට පත්වේ. පසුගිය කාලය පුරාම සිදු වූ බාල අපරාධ, ලිංගික හිංසන සම්බන්ධයෙන් ගත් කල තත්ත්වය එබඳුය. ඇත්තටම පිස්‌සු හැදිච්ච බල්ලන් කරන වරදට මුළු මහත් සමාජයක්‌ම එකිනෙකා දෙස අවිශ්වාසයෙන්, සැකයෙන් බලන තත්ත්වයක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ. එක දිගට සිදු වූ දැරියන් දූෂණය කර මරා දැමීමේ ඝාතන සිද්ධීන් සමූහයක්‌ සමඟම මේ වන විට උද්ඝෝෂණ රැල්ලක්‌ ද නිර්මාණය වෙමින් තිබේ. මේ හැම උද්ඝෝෂණයකම ප්‍රමුඛතම සටන් පාඨය වන්නේ “කොටදෙනියාවේ දැරියගේ ඝාතකයන් අල්ලනු” යන්නය. උද්ඝෝෂණ රැල්ල පෙළගැසෙන්නේ සමස්‌ත ළමා අපයෝජන, ඝාතනවලට එරෙහිව වුවද කොටදෙනියාවේ දැරියගේ ඝාතනය ඊට විශාල උත්තේජනයක්‌ව ඇති බව පෙනේ.

ඒ ආසන්නතම කාලයේ කොටදෙනියාවේ දැරිය ඝාතනය කිරීම ගැන රට පුරා විශාල කම්පනයක්‌ ඇතිව තිබේ. මෙවැනි අපරාධ වලට යොමු වූ මිනිස්‌ ශරීර හිමි බොහෝ සුනඛයන්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව වාර්තා වේ.

පසුගිය මාස නවය තුළදී මෙවැනි පිස්‌සු බල්ලන් දරුවන් දසදෙනකු ඝාතනය කර ඇති බව වැඩබලන පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේය. එමෙන්ම මේ වසරේදී පමණක්‌ ළමා හා කාන්තා දූෂණ සිදුවීම් 795 ක්‌ වන බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේය.

මේ කිසිවක්‌ පසුගිය කාලයේ වාර්තා නොවී සැඟවී තිබුණු ඒවා බව සිතිය නොහැක. අවම වශයෙන් මින් අඩක්‌ හෝ මාධ්‍ය මගින් වාර්තා කරන ලද ඒවා බව කිව යුතුය. ඇත්ත වශයෙන්ම, වරදකරුවන්ට දඬුවම් කිරීමේ උනන්දුව අදින් බොහෝ කලකට පෙර ඇතිවිය යුතුව තිබුණු එකක්‌ බව අපි විශ්වාස කරමු.

පාර්ලිමේන්තුව එකඟ නම් ලබන වසරේ සිට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට තමන් කැමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කියා තිබුණේ කොටදෙනියාවේ දැරියගේ ඝාතනයෙන් පසු මතුවන සමාජ විරෝධය පිළිබඳව අවධානය යොමු කරමිනි. එහෙත් මේ ගැන සමාජයේ විවිධ මත පවතින බව ද පිළිගත යුතුව තිබේ. එහෙත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පමාවීම ගැන සමාජයේ එතරම් ප්‍රබල හඬක්‌ නැගී නැති බව ද අපේ හැඟීමය. යම් අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමේදී එම අපරාධය ගැන සමාජයේ ඇති උනන්දුව (බිය සහ අපරාධය පිළිබඳව ඇති කම්පනය) අඩුවීමත් නැවතත් එවැනි අපරාධයකට මඟපෙන්වන්නකි. අපරාධයකට දඬුවම් දීම ඉක්‌මන් කළ යුතු බව අපිදු පිළිගනිමු. එහෙත් ඊට පෙර මුළු මහත් සමාජයම අනුගත විය යුතු ක්‍රියාදාමයක්‌ තිබේ. ඒ තමා ජීවත්වන සමාජයේ පුද්ගල චරිත පිළිබඳව නිසි අවධානයකින් පසුවීමය. එය එකිනෙකා පිළිබඳව සැකයකින් අවිශ්වාසයකින් බැලීම නොවේ. බොහෝ විට එවැනි පුද්ගල චරිත ස්‌වභාවයන් (අපරාධයකට පෙළඹීම) ඉස්‌මතු වන්නේ ක්‍ෂණයකින් විය හැකිය. ඊට විවිධ හේතු බලපෑ හැකිය. නිදසුනක්‌ ලෙස, යම් ප්‍රදේශයක ජීවත්වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු සිටී නම්, ඔහුගේ චරිත ස්‌වභාවයේ, චර්යා රටාවේ සියුම් වෙනස්‌කම්, හැසිරීම් රටාවේ වෙනස්‌කම් ගැන අවිශ්වාසයෙන් නොව නිරීක්‍ෂණාත්මකව බැලිය යුතුය. අවට ජීවත්වන සමාජය තමා පිළිබඳව අවධානයකින් පසුවන බව දුටු විට ඕනෑම අපරාධකරුවකුට හෝ අපරාධයක්‌ කරන්නට සූදානම් වන පුද්ගලයකු ඉක්‌මනින්ම පසුබා යා හැකිය. නොඑසේ නම් වැඩේ අතහැර දමනු ඇත. පාරේ යන බල්ලකු සපා කයි යෑයි සැක කරන විට කවුරුන් හෝ ගලක්‌ අතට ගත් විට බල්ලා පසුබසින්නේ ඒ ආකාරයටය. නැවතත් කියමු. දඬුවම් කරන්නට පෙර ආරක්‍ෂා වෙමු. අවදානමට පෙර අවධානය යොදවමු. පිස්‌සු බල්ලන්ගෙන් ආරක්‍ෂා වෙමු.

Source : Divaina