එළඹ ඇත්තේ දරුවන්ට මාරක අපල කාලයකි. එක දරුවෙක් සල්ලාලයකුට ගොදුරු වෙයි. තව දරුවෙක් පියා විසින් මුහුදට දමනු ලබයි. තවත් දරුවෙක් පාපතරයකු විසින් ළිඳට දමනු ලබයි. ඉකුත් සති කිහිපයක කාලයේ සිදුවූ මේ සියල්ල හැඟීම් පාලනය කරගත නොහැකි මිනිසුන්ගේ තුච්ජ හැසිරීම්වල ප්‍රතිඵලයි. ඒ විතරක් නම් මදැයි….. මේ මාරක අපල මැද, අපල දුරුවෙන්න යෑයි අලියකුගේ බඩ යටින් රැගෙන ගිය දරුවෙක් ඒ අලියාගේ බඩ යටම මාරකයකට ලක්‌වීම ඊයේ zදිවයිනZ වාර්තා කළේය.
මේ රටේ සිටින මරුවන්ගෙන් දරුවන් බේරාගැනීමේ සටනක රටම පෙළගැසෙමින් සිටියදී මේ ආකාරයෙන් දරුවන් මරු කටට ඇදවැටීම කරුමයකි. ඊටත් වඩා අරුමයකි.
සිදුවීම මෙසේය. ගොකරැල්ලේ මැදගම්පොල දේවාල භූමියේ එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත වූ පෙරහැර වෙනුවෙන් ගෙන්වාගත් අලියෙකු බැඳ සිටියේය. අලියකුගේ බඩ යටින් දරුවෙක් රැගෙන ගිය විට දරුවාගේ අපල දුරුවන්නේ යෑයි සමාජයේ පවතින මතයට අනුව මේ සිඟිත්තාගේ ඥාතියකු විසින් සිඟිත්තා රැගෙන අලියාගේ බඩ යටින් ගියේය. වරක් දෙවරක් නොව කිහිපවරක්‌ම මෙලෙස ඔහු ගියේ දෙමාපියන්ගේද අකැමැත්ත මත යෑයි කියවේ. අවසානයේ අලියාගේ බඩ යටින් රිංගද්දී මෙකී පුද්ගලයා පැටලී ඇදවැටෙයි. කලබලයට පත් අලියාට පෑගී දරුවා මරු හා යයි. සිදුවීමෙන් තුවාල ලබන එකී ඥාතියා රෝහලට යෑවෙයි. මේ වන විට අපල ඇරීමට තැත් කළ උන්දෑගේ ගිලන් ඇඳ පොලිස් ආරක්‍ෂාවෙන් වටවී ඇත. ඒ බිලිඳාගේ මරණය සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට පත්කිරීමට නියෝග වී ඇති නිසාය. අන්තිමේදී අලියාගේ බඩ යටින් ගිය දෙදෙනාටම සිදුවූයේ නැති අපලයකට මුහුණදීමටය.
වාර්තා වන අන්දමට මේ පුද්ගලයා ඒ මොහොතේ සිට ඇත්තේ බීමතිනි. මේ ෙ€දජනක සිදුවීම සුරාවේ තවත් ආදීනවයක් විය හැක. පුද්ගලයා අලියාගේ බඩ යටින් රිංගායැමේදී පයපැකිලීම හෝ සමබරතාව ගිලිහී බිම වැටීම සහ සුරා පානය අතර සම්බන්ධයක් තිබීමටද පුළුවන. zසුරාවZ සහ දරුවාගේ දෙමාපියන්ගේ zනොකැමැත්තZ යන්න මේ අවාසානාවන්ත සිදුවීමට, පසුව එක්‌වූ zලුණු ඇඹුල්Z වීමටද පුළුවන. ඒ කෙසේ වෙතත් අවසානයේ සිදුව ඇත්තේ මිථ්‍යාවක් වෙනුවෙන් දසමස් දරුවකු බිලි පූජාවක් බවට පත්වීමය.
බුදු දහමට අනුව අලියා යනු සතර අපායෙන් එක් අපායක් වන තිරිසන් අපායට අයත් සතෙකි. මිනිසා යනු සුගතියක උපත ලැබුවෙකි. අපල යෑයි සමාජය විසින් හැඳින්වුවද දහමට අනුව යථාර්ථය නම් පෙර අකුසල්ය. කරුමය නම්, පෙර කුසල් විපාකයක් ලෙසින් මිනිසත් බවක් ලද මිනිසුන් මේ කිසිවක් නොදැන, අකුසලය ගෙවා දැමීම පිණිස තිරිසන් සතකු හෙවක් අකුසල් නිධියක බඩ යටින් රිංගා යැමය. අකුසල විපාකයක් ලෙසින් තිරිසන් අපායේ උපදින සතෙකුට, මිනිසාගේ අකුසලය දුරු කිරීමට කොහෙන් නම් ශක්‌තියක්‌ද? බුදුරජාණන් වහන්සේ විසින් මෙවැනි දෑ තිරශ්චීන ධර්ම හෙවත් ග්‍රාම්‍ය, ලාමක, තිරිසන් ධර්ම ලෙසින් නම් කිරීම මොන තරම් සාධාරණද?
නමුත් මේවා නොදන්නා අසරණ මිනිසුන් (අවාසනාවකට මෙන් ඉන් බහුතරයක් බෞද්ධයන්ය) තම දරුවාගේ අපල උපද්‍රව රහිත සෞභාග්‍යවත් අනාගතය ඇත්තේ අලියාගේ බඩ යට යෑයි සිතයි. එසේ සිතනා සමාජයක් තුළ දරුවන් නන්නත්තාර වීම, අකල් මරණවලට ලක්‌වීම, දරුවන් මරුවන්ට බිලිවීම අරුමයක්‌ද? ශිෂ්ට යෑයි සම්මත මිනිස් සමාජය තුළ වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත්වන දරුවාට අලියකුගේ බඩක් යට කුමන රැකවරණයක්‌ද?
Source : Divaina