මහවන මැද නිදන් සෙවූ මුතු බණ්ඩාට බහිරවයාගෙන් දඬුවමක් – Treasure in Vanni Jungle

0
1116
wanni

මුතුබණ්ඩා යනු මීට වසර හැට හැත්තෑවකට ඉහත වන්නිහත්පත්තුවේ ජීවත් වූ ගැමියෙකි. සාමාන්‍යයෙන් මෙහි විසූ අතීත ගැමියන්ගෙන් සියයට අනූවක්ම හේන් කුඹුරු ගොවිතැනින් ජීවත් වූවෝ වෙති. එහෙත් මුතු බණ්ඩාගේ ප්‍රධානතම ජීවිකාව වූයේ දඩයම සහ ප්‍රදේශයේ වැව්වල මසුන් ඇල්ලීමය. අද මෙන් වනසත්ව සහ වෘක්ෂලතා ආඥාපනත දැඩිව ක්‍රියාත්මක නොවූ ඒ කාලයේ වන සතුන් දඩයම් කළ මුතු බණ්ඩා එම දඩමස් අමුවෙන් සහ වියළා විකිණීමටත් ගැමියන්ගේ වී, කුරහන් ආදී කෘෂි නිෂ්පාදන සමග හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය.

වන්නි හත්පත්තුව පුරා පැරණි ධන නිධාන රැසක් සුරක්ෂිතව පවතින බව අදටත් මෙහි ගැමියන් අතරේ ප්‍රබලව පවතින විශ්වාසයකි. එම නිදන් එසේ සුරක්ෂිතව පැවැතීමට හේතුව බහිරව දේවතාවා ඒවා සුරැකීම බව ද මෙහි ගැමියෝ පිළිගනිති. එසේම එම නිදන් හෑරීමට ගොස් ‍පොට වරද්දාගත්තවුන්ට බහිරව දේවතාවුන් වහන්සේගේ දැඩි දඬුවම් හිමිවන බවට තදබල විශ්වාසයක් අද ද මේ වන්නි හත්පත්තුවේ ගැමියන් තුළ තිබේ.

අද අපගේ කතා නායක මුතු බණ්ඩා එම ගම්මානයේ සේම පිට පළාත්වල වැසියන්ගේ ද විශේෂ දැන හැඳුනුමට ලක්ව සිටියේය. ඒ ඔහු පිටපළාත්වල වැසියන්ට ද දඩමස් සැපයීමට පුරුදුව සිටි බැවිනි. එසේ මුතු බණ්ඩාගෙන් දඩමස් ලබා ගන්නවුන් අතර සිදාදියේ මහත්වරු ද වූහ.

ඔය අතරේ එක්තරා දිනයෙක එවන් නාගරිකයන් පිරිසක ගෙන් මුතු බණ්ඩාට විශේෂ රාජකාරියක් පැවරුණි. එනම් වන්නි හත්පත්තුවේ මහ වනය මැද නිදන් ඇති ස්ථානයක් පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙසය. එසේ නිදන් ඇති ස්ථානයක් නිශ්චිත කොට පෙන්නුවහොත් ඒ වෙනුවෙන් මුදල් තෑග්ගක් ලබා දෙන බවට ද ඔවුහු මුතු බණ්ඩාට ‍පොරොන්දු වූහ.

වන්නි හත්පත්තුවේ මහ වනය සිසාරා දිවා රෑ කරක් ගසන මුතු බණ්ඩාට මහ වන මැද විශේෂ ලකුණු කෙටූ ගල් පර්වත කිහිපයක් ඇති බවට යාන්තමින් මතකය. විශේෂයෙන් දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු අශෝකමාලාව හා දිවි ගෙවූ බවට සැලකෙන ගල්කිරියාව කන්ද ආශ්‍රිත මහ වනයේ එබඳු විශේෂිත ස්ථාන කිහිපයක් ඇති බැව් ඔහුට සිහිපත් විණි. එහෙත් අක්කර දස දහස් ගණනක් විශාලැති එම වනයේ ඇති එම ස්ථාන නිශ්චිත වශයෙන් හුවා දැක්වීමට ඔහුට මතකයන් නොතිබුණි. ඒ නිදන් ලකුණු පිරික්සීම තමන්ට අයත් රාජකාරියක් නොවූ බැවිනි.

ඒ අනුව දිනක් බත් මුලක් වතුර ලබ්බක් සේම තුවක්කු කෙටියක් සේම තවත් ආයුධ කිහිපයක් ගත් මුතු බණ්ඩා ගල්කිරියාව මහ වන පෙතට පිවිසියේ වන සතකු ඇහැ ගැහුණහොත් “එලා ගන්නා” අතර තමන්ට පැවරුණු කොන්තරාත්තුවට අනුව නිදන් ලකුණු ඇති තැනක් හරි හැටි නිශ්චය කර ගැනීමටය. එහෙත් එසේ මහ වනයට පිවිසි මුතු බණ්ඩා සුපුරුදු ලෙස එදිනම ඊට පසුදින හෝ නැතහොත් ඊටත් පසු දින නැවත ගම්මානයට කලඑළි බැස්සේ නැත.

වර්තමානයේ ද එම ගල්කිරියාව වන පෙත ආශ්‍රිතව බහුල ලෙසම වන අලි ඇත්තු ගැවසෙති. අදට සාපේක්ෂව එදා මෙම වන අලි ගහනය හත් අට ගුණයකින් වැඩි වූ අතර දිවියා සහ වලහා යන භායානක සත්තු ද එම වන ගැබ තුළ නිතර සැරිසැරූහ. ඒ අනුව එම වනයට පිවිස දින තුන හතරකින් නැවත පිටතට නොපැමිණෙන්නකුගේ ඉරණම වටහා ගැනීමට එකල ගැමියන්ට ද කිසිදු අසීරුවක් ද නොවිණි. ඒ ඊට කලකට පසු එම වන ගැබට පිවිසෙන්නකු හට මිනිස් ඇට කැබලි, දිරාගිය රෙදි කැබලි සහ මළ කෑ ආයුධ ඒ මහ වන තිබි ඉතා අහඹු ලෙස හෝ හමු වූ බැවිනි. ඒ අනුව එවර වනයට ගිය මුතු බණ්ඩා වනය තුළ දී කිසියම් උපද්‍රවයකට ලක්ව නොඑන ගමන් ගොස් ඇතැයි ඔහුගේ ඥාතීන් ඇතුළු ගම්මු තීරණය කළහ.

කෙසේ හෝ මුතු බණ්ඩාගේ අතුරුදන් වීමෙන් සත්වන දිනය ද එළැඹිණි. ගම්මානයේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි එදින මුතු බණ්ඩා මහ වනයෙන් පිටතට පැමිණ සිටියේය. එහෙත්, ඒ වන විට ඔහු මුළුමනින්ම සිහිවිකල් ස්වභාවයක් පළ කරන්නට විය. ඔහු ඇඳ සිටි ඇඳුම් කිළිටි වී ගොස් ඉරී තිබූ අතර කෙස් වැටිය අවුල් වී හැඩ පළු වී තිබිණ. මුතු බණ්ඩාගේ මුහුණින් පළ වූයේ ද මර බියකි. කෙසේ හෝ ඔහුගේ මෙම උන්මත්තක ස්වරූපය දුටු ගම්මු වියරුවෙන් කෑමොර දෙන මුතු බණ්ඩා අසීරුවෙන් වත්තම් කරගෙන ඔහුගේ නිවසට ගෙන ගියහ.

“උඹට මොකක්ද වුණේ කියහං” මුතු බණ්ඩාගේ මෙම ස්වරූපය මුල් කොට ඔහුට ප්‍රතිකාර පිණිස ගෙන් වූ ගමේ වෙද මහතා මුතු බණ්ඩාගෙන් ඇසීය.
“මං මහ කැ‍ලේ මැද්දේ නිදන් සොය සොයා දවස් දෙක තුනක් ඇවිද්දා; මං අඳුනන මහත්තුරු කීප දෙනෙක් කියපු හින්දා” තුන් වෙනි දවසේ විතර කළු මහත කොට මිනිහෙක් මගේ ඉස්සරහට ඇවිත් උඹට නිදන් ඕනේ නම් මගේ පස්සෙන් වරෙන් කිව්වා. ඉතින් මාත් ඔහේ ඒ මිනිහා පස්සෙන් ඇවිදගෙන ගියා”

දෙනෙතින් උතුරන මර බියෙන් යුතු මුතු බණ්ඩා කීය. එබැවින් ඊට කවුරුත් මහත් උනන්දුවෙන් යුතුව කන් දුන්හ.
“ඊට පස්සේ ඒ මිනිහා කැ‍ලේ මැද්දේ තියන ලොකු ගල් ගුහාවක් ඇතුළට ගියා; මාත් ඉබේම ඒක ඇතුළට ගියා. ඒ ගල්ගුහාව රත්තරන් මුතු මැණික්වලින් පිරිලා මුළු ගුහාවම දිස්නේ ගහනවා. හැම තැනම දිලිසෙන අඟුරු වගේ මැණික් ගොඩගහලා තියනවා. ඒත් ඒවා එළියට ගේන්න තියා අල්ලන්නවත් ඒ කළු මහත කොට මිනිහා මට ඉඩ දුන්නේ නෑ. ඔය විදිහට මම තවත් දවස් තුනක් විතර ඒ රත්තරන් මුතු මැණික් ගොඩට වෙලා හූල්ල හූල්ලා හිටියා.” මුතු බණ්ඩා කීයේ සැම දෙන විස්මයෙන් භ්‍රාන්ත කරවමිනි.

“ඒත් මට පස්සේ තේරුණා මම මේ විදිහට කොච්චර හිටියත් වැඩක් නෑ” කියලා. ඊට පස්සේ මම අර කළු මහත කොට මිනිහට කිව්වා දැන් මට ආපහු යන්න ඕනේ. මට යන්න දීපන් කියලා. එතකොට ඒ මිනිහා කිව්වා මම උඹට යන්න දෙන්නම් හැබැයි උඹ ගමට ගිහින් මේ ගැන කටින් කෙළ ‍පොඩ්ඩක් හෙළුවොත් ඒ උඹේ අවසානේ තමයි කියලා. එහෙම කියපු ඒ මිනිහා මාව ගල්ගුහාවෙන් එළියට තල්ලු කළා”.

රැස්ව සිටි පිරිස හමුවේ එසේ කී මුතු බණ්ඩා වේගවත් සුසුමක් ඉහළට ඇද යළි එය පිටකරත්ම ඔහුගේ ගෙළ අප්‍රාණිකව පසෙකට කඩාවැටුණි.
“දැන් ඉතින් වැඩක් නෑ. මුතු බණ්ඩාගේ පණ ගිහින් ඉන්පසු ඔහුගේ නාඩි පිරික්සූ වෙද මහතා කීය. මුතු බණ්ඩාට ඒ කැ‍ලේ දී මුණ ගැහුණේ කවුද කියන්න මේ වන්නි හත්පත්තුවේ හැම ගැමියෙක්ම දන්නවා. කවදත් මේ වන්නි හත්පත්තුවේ ධන නිදන්වලට අරක් අරගෙන ඉන්න බහිරව දේවතාවුන් වහන්සේ නිදන් හොරුන්ට දඬුවම් දෙන එක ක්‍රමයක් තමයි ඒ. මීට දශක දෙකකට පමණ ඉහත මා හා මෙම කතාව පවසා සිටියේ වන්නි පත්පත්තුවේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ පූජ්‍ය ‍පොතානේගම ධීරානන්ද හිමියන් බවය.

 

ඇහැටුවැට, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රාජමහා විහාරාධීපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් විසිනි