නැගෙනහිර පළාතේ ගල් තලාවක අලි රංචුවකුත් සමග ඉර නගිනවා බලා සිටියෙමි – Sun rise with herd of Elephants

0
1260
elephants

මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන්

– බලයලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි

ඒ 1963 වසරය. එම්.කළුතන්ත්‍රි තරුණ මිනින්දෝරු මහතාට රාජ්‍ය සේවයේ ඊළඟ ක්‍ෂේත්‍ර ස්ථාන මාරුව සඳහා උපදෙස් ලැබි තිබුණේය.ඒ නැගෙනහිර පළාතේ ගමකටය. මහඔයේ සිට සැතපුම් පහක් හයක් පමණ මහවනය මැද පිහිටි මේ ගම්මානය වරාපිටියයි.
“වරාපිටිය ගමේ මම කඳවුරු ගැහුවා. එතන තමයි කෑම්ප් කරන්න ‍ලේසිම තැන.” අද හැත්තෑ පස් වන වියේ පසුවන බලයලත් මිනින්දෝරු එම්.කළුතන්ත්‍රි මහතා අඩසිය වසකටත් එපිට සිය අතීතය රස ගන්වන්නට පටන් ගත්තේ ඒ ආකාරයෙනි.

ඒ වන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් රටේ පෞද්ගලික හා රජයේ ඉඩම් වෙන් වෙන්ව හඳුනාගෙන ඒවායේ මැනීම් කටයුතු සිදු කිරීම අරඹා තිබුණි. මෙම රජයේ හා පෞද්ගලික ඉඩම් වෙන් වෙන්ව මැනීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලැබුවේ ලංකා මැනුම කියාය. එකල ගැමියන් ඒ ගැන කියන්නට පුරුදුව හිටියේ “අපේ ඉඩමත්් ලංකා මැනුමට අහුවෙලා”ලෙසටය. එය එම ගැමියන්ට ආඩම්බරයට කාරණයක් වී තිබිණි.

“මට පැවැරුණේ කැලය තුළ තැන් තැන්වල විසිරී තිබුණ කුඩා ගම්කොටු මැනීම. මේ යටතේ බුදරා‍පොත කියන, මිනිස්සු කලක් පදිංචිව සිට අතහැර දමා ගිය ගම්මානයේ මායිම්ගල් දමා මැනීමත් අයිති වුණා. මේ මැනුමේ එක් මායිමක් තමයි ඌව පළාත සහ නැගෙනහිර යන පළාත් දෙක වෙන්වන ‍පොදු පළාත් මායිමේ හැතැප්ම තුනහමාරක පමණ කොටසක් මායිම්ගල් දමා මැනීම” එම්. කළුතන්ත්‍රි මහතාට පැවැරුණු පළමු රාජකාරිය වූවේ එයයි.
මහඔය ගඟ නැගෙනහිර පළාතටත් රඹුක්කන් ඔය ගඟ ඌව පළාතටත් අයත් වන්නේය. මෙම ගංගා දෙක බොහෝ දුරට එකිනෙකට සමාන්තරව දකුණේ සිට උතුරු දෙසට ගලා බසින අතර එම සානු දෙක අතර එම දිශාවටම එතරම් උස් නොවූ කඳුවැටියක් පිහිටා ඇත. මෙම කඳු වැටියේ මුදුන දිගේ පළාත් මායිම වැටී ඇත.

“මෙම පළාත් මායිම පිහිටුවන්න මැනීම් කරන්න ඕන. මේ. මැනීමට කියන්නේ තෘතීක පරික්‍රමණයක් මගින් මනිනවා කියා. මැනීම ඒ තරම්ම අමාරු නෑ. එහෙත් වරාපිටිය මගේ කෑම්ප් එකේ ඉඳගෙන දිනපතාම හැතැප්ම හතරක් විතර මේ සඳහා පයින් එන්න ඕන.”
“පායන කාලයට මහඔයත් රඹුක්කන් ඔයත් දෙකම හිඳී යනවා. ගං පතුළේ ඇති සමහර ගල් සහිත වළවල්වල රැඳුණු වතුර ස්වල්පය හරි වළක් හාරා උනන වතුර ටික හරි තමයි අපේ බිමට ගත්තේ.

මේ කාලය වන විට බුදරා‍පොත නමැති ගම්මානය මනුස්ස වාසයෙන් තොරය. කළුතන්ත්‍රි මිනින්දෝරු මහතා කඳවුරු ලා සිටි වරාපිටිය ගමේ නම් පවුල් දහයක් පමණ ජීවත් වූහ. ඊළඟ කිට්ටුම ගම වූයේ ඇල්ලගොඩ ගමය. එය පිහිටියේ හැතැප්ම තුනක් පමණ දුරකිනි.

“අපි හැමදාම වැඩට ගියේ සතුන් ගිය අඩි පාරවල් දිගේ, කැලය මැදින් ගිහින් මහඔයෙන් එගොඩවෙලා පරික්‍රමණය මනින තැනට යනවා. මේ අඩි පාරවල් රළුයි, දුෂ්කරයි, මේ නිසා මේ ගමනට පැය දෙකක් විතර යනවා. අපි කරන්නේ හිමිදිරි පාන්දරම එළිය වැටෙන්න එනවාත් එක්ක උදේ ආහාරයත්, දවල් ආහාරයත් ඔතාගෙන මැනුම් කටයුතු සඳහා ගමන් ඇරඹීමයි. උදේ අට විතර වෙනකොට අපි මැනුම් කරන ස්ථානයට ළඟා වෙනවා. එතැනට ගිය ගමන් අපි මුලින්ම කරන්නේ උදේ ආහාරය ගැනීම ඊට පස්සේ මැනීම් කටයුතු පටන් ගන්නවා.”

පළාත් දෙකක් අතර මායිමක් ‍පොළොවේ මායිම්ගල් සිටුවා මැනීමේදී එම මැනීම සඳහා පාලනයක් සිදුකළ යුත්තේය. මාලිමාවක් මගින් පහසුවෙන් චුම්භක උතුර හෙවත් කාන්දම් උතුර සොයාගත හැකි වුවද, එය මෙවැනි මැනුමකට ප්‍රමාණවත් නොවන්නේය. මෙවැනි මැනීම් සඳහා සත්‍ය උතුර සොයාගෙන, එම සත්‍ය උතුරට සාපේක්ෂව මැනීමේ කෝණ නිරීක්ෂණය කළ යුතු වන්නේය. මෙම සත්‍ය උතුර හා චුම්භක උතුර අතර කෝණයේ පරහක් තිබෙන්නේය. කැළය තුළදී සත්‍ය උතුර සොයා මිනින්දෝරු කණ්ණාඩිය මගින් කෝණය ‍පොළොවේ පිහිටුවා ගැනීමේ කතාව එදා මිනින්දෝරු මහතුන් විසින් සිදුකරගන්නේ ඉර දෙයියන්ට පින් සිද්ධ වෙන්නටය. මෙය මිනින්දෝරු ව්‍යවහාරයේ සඳහන් වන්නේ සන් ඇසීමත්් ඔබ්සර්වේෂන් ලෙසටය. සිංහලෙන් සූර්ය උද්දිගංශ නිරීක්ෂණය ලෙස හැඳින්වෙන මෙය සිදු කරනු ලබන්නේ උදේ කාලයේය. ඒ ඉර මුදුන්වීමට කලියෙනි. කොහොම වුණත් මේ සූර්ය උද්දිංශ නිරීක්ෂණය සිදුකරනුයේ උදෑසන අටටවත් කලියෙනි.

මේ සඳහා මුලින්ම කෝණයේ මිනින්දෝරු කණ්ණාඩිය හෙවත් විකෝණමානය පිහිටුවනු ලබයි. මේ විකෝණමානයේ ඇති දුරේක්ෂය මගින් ඉරේ නැගීම, කාලයත් සමග නිරීක්ෂණය කරමින් පාඨාංක සටහන් කර ගනු ලැබේ. උදෑසන අට පසුවන විට සූර්යයාගේ මුදුන් වීම වේගවත්ය. එවිට ගතවන කාලයත් සමග පාඨාංක ගැනීම අපහසු වෙනවා මෙන්ම නිරීක්ෂණයද අපහසු වන්නේය. විකෝණමානයේ ඇති දුරේක්ෂය එන්න එන්නම ඉර සොයා උඩට හැරවීමේදී නිරීක්ෂකයාගේ නිකට දුරේක්ෂයේ වදින්නේය.

නිරීක්ෂණය අපහසු වන්නේ එපරිදිය. මේ ගන්නා වූ පාඨාංක කඳවුරේදී ගණනයෙන් පසුව, සත්‍ය උතුර සාපේක්ෂව කෝණය සොයා ගන්නේය. මෙම නිරීක්ෂණ ගැනීම උදෑසනම සිදුකළ යුතු නිසා කෙසේ හෝ පෙරදා රාත්‍රිය අදාළ ක්‍ෂේත්‍රයේම ගත කළ යුතු වන්නේය. මේ සියලු ගණනයන් තාරකා විද්‍යාව අනුව සිදු වන්නේය. මේ සියල්ලෙන්ම සිදු කරනුයේ උත්තරධ්‍රැවයට දිශානතියය. නමුත් හොඳ තරුණ අවධියේ සිටි බැවින් ඔවුන් කිසිවෙකුටත් වෙහෙසක් දැනුණේ නැත.

“සන් ඇසිමත් ඔබ්සර්වේෂන් එකට වුවමනා හැම කාරණයක්ම මගේ ප්‍රධාන කම්කරු විසින් පිළියෙළ කළා. වෙනදා වගේම උදේ කෑම සහ දවල් කෑම පාර්සල් කර ගත්තා. මීට අමතරව හිරමණයෙන් ගාන ලද ‍පොලුයි පිටියි රොටි තැටියකුයි බඩු මලුවලටම දමාගත්තා. ඒ වගේම අපි රාත්‍රිය ගත කරන්න පැතලි ගල් තලාවක් සොයා ගත්තා.”

එතනට ගිය විට පළමුවෙන්ම කරන ලද්දේ රෑ එළිවෙන තෙක් ගිනි මැල දල්වා තැබිමට දර එක් රැස් කර ගැනීමය. වතුර සිඳී ගිය ඇළ දලුවක වැල්ල හෑරීමෙන් වතුර සොයා ගන්නා ලදී.
ප්‍රධාන කම්කරු විලියම් විසින් රාත්‍රී ආහාරයටත් පසුදා උදේ ආහාරයටත් රොටි පිච්චීම ඇරඹූයේය. එක් අයකුට ලොකු රොටි දෙක බැගින් වැටෙන පරිදිය. ඒ රැයට එක් රොටියකුත් පසුදා තවත් රොටියකුත් බැගිනි.

පැතලි ගල් තලාව මත වූ කොළ රොඩු ආදිය පිහිදා මිනින්දෝරු කණ්ඩායම රාත්‍රී නින්දට සූදානම් වූහ. ගමනේ වෙහෙස නිසා ගල් තලාව කෙතරම් රළු වුවද අපේ මිනින්දෝරු මහතා ඇතුළු පිරිස මොහොතකින් නින්දට වැටුණාහ.
“අලි ඇතුන්ගෙන්, වෙනත් සතුන්ගෙන් ආරක්ෂා වීමට ගිනිමැලය අවශ්‍යයි. මගේ ප්‍රධාන කම්කරු විලියම් වරින් වර අවදි වෙලා ගිනිමැලයට දර එකතු කළා.” එම්. කළුතන්ත්‍රි මිනින්දෝරු මහතා කියන්නේය.

“ගල් තලාව කොයි තරම් රළු වුණත් සුළං වදිමින් එළිමහනේ නිදා ගැනීම හරිම සනීපයි. වියළි කාලය නිසාත්, මනුස්ස වාසයෙන් තොර නිසාත් මදුරු කරදරයක් තිබුණේත් නෑ.”
මේ රාත්‍රියේ කැලයට උඩින් ඉතා කදිමට සඳ පායා ඇත. දවල් කාලයේ මෙන් නොව සඳ ඇති මේ රාත්‍රියේ මහ වනය එම ආලෝකයෙන් අමුතු ජීවයක් ලබා ඇති බවක් පෙනේ. එ අතරම නා නා ප්‍රකාර සතුන්ගේ විවිධාකාර ශබ්ද රාත්‍රිය පුරා වරින් වර ඇසෙන්නට පටන් ගනී. වනයේ ඈතක යම් සතෙකු හඬ නගන විට, ඔය කෑගහන්නේ මුවාය, නැතිනම් ගෝනාය, එසේත් නැතිනම් කොටියාය, කියා පැහැදිලි කරන්නටත් ප්‍රධාන කම්කරු තැනට හැකියාව තිබුණි.

“වැලිමුවා කෑගහන්නේ බල්ලෙක් බුරන ආකාරයට” ඔහු සෙසු පිරිසට පහදා දෙයි. “සර් සර්. ඔය ඔය ලී කොටයක් ඉරන විදිහට සද්දයක් ඇහෙනවා නේද? ඔය සද්දෙ කොටියගෙ” ප්‍රධාන කම්කරු විලියම් තරුණ මිනින්දෝරු මහතා දැනුවත් කරන්නේය.
“කොටියා බඩගිනි වී ආහාර සොයාගෙන යද්දී ඇහෙන්නෙ ලී කොටයක් ඉරනවා වගේ සද්දයක්. මමත් එදා ඒ සද්ද අඳුනාගත්තා.” කළුතන්ත්‍රි මිනින්දෝරු මහතා කියන්නේය.

සිය රාජකාරිය උදෙසා හිමිදිරි පාන්දර අවදි වූ ඔවුන්ට ඉර පායාගෙන එන මොහොතේ අති සුන්දරව දිදුලන වනපෙත දැකගත හැකියි. වලි කුකුළන්ගේ හැඬලීමත්, තොරතෝංචියක් නැති හබන් කුකුළන්ගේ කෑ ගැසීමත් කෑදැත්තන්ගේ හා බටගොයියන්ගේ හැ¾ඩීමත් වනය පුරා නින්නාද වන්නේ ස්වභාව සෞන්දර්යයේ සංගීත සංවනියක් පරිද්දෙනි. රූස්ස ගස්වල කොළ අතු අතරින් මීදුම සමග හිරු එළිය ගලා එන අයුරු ස්වභාවධර්මයාගේ විස්මිත සෞන්දර්යයේ කොතරම් අගනා නිර්මාණයක්දැයි පසක් කරවන්නක් විය. මේ ප්‍රබෝධමත් උදෑසන ඉර නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා කම්කරු කණ්ඩායම විසින් සියල්ල සූදානම් කරගන්නා විට උදේ 7.00 පමණ වී තිබුණි.

“මේත් එක්කම අපූරු තවත් චිත්‍රයක් අපිට දකින්නට ලැබුණා. ඒ තමයි විසි පහකටත් වැඩි අලි රංචුවක්.
ඔවුන් සෙමින් සෙමින් අපි හිටපු ගල් තලාව වට කරගත්තා.”
නමුත් බියට පත්වීමට කරුණක් නොතිබුණේ මෙම අසිරිමත් උදෑසන අලි රැලගේ් ඇදහිය නොහැකි සන්සුන්භාවය හේතුකොටගෙනය.
“සර් බය වෙන්න එපා. අපිත් එක්කම ඉර බලන්න තමයි මේ අලි රංචුව ඇවිත් තියෙන්නෙ.” ප්‍රධාන කම්කරු විලියම් පැවැසුවේ වනාන්තරය පිළිබඳව ඔහු සතුව ඇති මහා අත්දැකීම් සම්භාරය ගැන පිරිස තුළ විමතියක් ඇති කරවමිනි. විලියම්ගේ කතාව සම්පූර්ණ ඇත්තකි. හරිම අපූරුයි. මේ ගොල්ලොත් අපි කරන විදියට අපිව අනුගමනය කරමින් වරින් වර ඉර නගින දිහා බලන්න පටන් ගත්තා. මේ දර්ශනයත් එක්ක අපි කා තුළත් උං කෙරේ ලොකු ආදරයක් ඇතිවෙන්න පටන් ගත්තා.”

මේ සියලු කාරණා අතරේ පැය බාගයක් විනාඩි හතළිස් පහක් වැනි කාලයක් තුළදී ඉර බලා සූර්ය උද්දිගංශ නිරීක්ෂණය කිරීමද හමාර විය. ඉක්බිති පිරිස කලින්දා රාත්‍රියේ පිච්චූ රොටි ආහාරයට ගන්නට පටන් ගත්හ.
උත්තරධ්‍රැවයට දිශානතිය ලබා ගැනීම එදා එතරම්ම කර්කශ විය. නමුත් මෙලෙස උත්තරධ්‍රැවයට දිශානතිය නොසෙවූ මිනින්දෝරුවරයකු ක්ෂේත්‍රයේ නැති තරම්ය. එහෙත් ඒ හැම මිනින්දෝරුවරයකු තුළම ඇත්තේ මීට නොදවෛනි එකිනෙකට වෙනස් රසබර කතාවලියකි.

එදා එලෙස වුවද අද නම් මේ මැනීම් සම්බන්ධව එවැනි කිසිදු නිදාන කතාවක් හෝ පසුබිම් කතාවක් ගොඩනැගෙන්නේ නැත. මක්නිසාද යත් රාජකාරියට අයත් සියලු කටයුතු කිසිදු දුෂ්කරතාවකින් තොරව ඇසිල්ලකින් සිදුවන නිසාය. මේ රාජකාරි ස්වභාවය පිළිබඳව අප හා කතාබහට එක්වූයේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භූමිතික අංශය භාර නියෝජ්‍ය සර්වේයර් ජනරාල් ඒ. දිසානායක මහතාය.

ජීවිතයේ සුන්දර අත්දැකීමක් ලෙස වනයේ රැඳුණාට “එදා මේ සන් ඇසිිමත් ඔබ්සර්වේෂන් එක හරි දුෂ්කර ක්‍රියාවලියක්. එය අවසානයේ හරි රසවත් අත්දැකීමක් වුණා. ඒත් අද අපේ මැනීමකට පිහිටීම සොයා ගන්න කිසිම අපහසුතාවක් නෑ. අපි 1993 වසරේ සිට 1999 වසර දක්වා කාලයේදී රට තුළ ජීපීඑස් තාක්ෂණය මගින් පාලන ජාලයක් ස්ථාපිත කළා. මෙය එස්එල්බි 99 පාලන ජාලය ලෙස නම් කරලා තියෙනවා. මේ මගින් මිනින්දෝරුවරයකුට තමාගේ මැනීම් කටයුතු සඳහා පිහිටීම හා සත්‍ය උතුර ඉතා කෙටි කාලයක් තුළදී සොයාගත හැකියි. එදා තිබූ තාක්ෂණය හරහා හොඳ රසබර සාහිත්‍යයක් ගොඩනැගුණත්, මෙදා මේ ක්‍රියාවලිය තුළ ඒ වගේ කිසිම සාහිත්‍යයක් හෝ සුන්දර ජීවන අත්දැකීමක් ගොඩනැගෙන්නේ නෑ. එදා මේ මිනින්දෝරු වෘත්තිය තුළින් රසවතුන් බිහි වුවත්, අද කාර්මිකයන් බිහිවන්නේ ඒ නිසයි.” ඒ. දිසානායක නියෝජ්‍ය සර්වේයර් ජනරාල්වරයා කියන්නේය.